Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th August 2017 12:53:53 Hours

දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII - 2017 නවාංග සමඟින් ක්‍රියාන්විත ඇරඹීමට සැරසේ

විදේශීය හමුදා සමාජිකයින් හා නිරීක්ෂකයින් 62 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා භඨ පිරිස් 2675 ක් සහ නවාංග කිහිපයක් ද සමගින් යුද හමුදා දින දර්ශකයේ ඉතා වැදගත් ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයක් වන ‘දියකාවා මෙහෙයුම VIII - 2017’ වර්ෂ 2017 සැප්තැම්බර් මස 3 වන දින පැවැත්වීමට සියල්ල සුදානම් බැව් අද දින (24) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අනාවරණය කලේය‍.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට ක්ෂේත්‍ර හමුදා අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න, කමාන්ඩෝ බළාසේනාධිපති බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, විශේෂ බළකා බළාසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව සෙනරත්යාපා, ඒකාබද්ධ හමුදා නාවික අංශයෙහි නාවික අණදෙන නිලධාරී නාවික කොමදෝරු යු.අයි සේරසිංහ සහ ඒකාබද්ධ හමුදා ගුවන් අංශයෙහි අණදෙන නිළධාරී වෙනුවට වින්ග් කමාන්ඩර් එම්.ඒ.ඩී.එම්.සී මනතුංග ද සහභාගී විය.

වර්ෂ 2010 දී යුද හමුදාවට හදුන්වාදෙනු ලැබු මෙම පුහුණු යුද ක්‍රියාන්විත අභ්‍යාසයේ අභිප්‍රාය වන්නේ වර්ෂ 2009 ට පෙර පැවැති මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලැබු අත්දැකීම් බෙදා හදා ගැනීමයි. සහෝදර සේවාවන් අතර අන්නෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමත්, එළැඹෙන ඕනෑම ක්‍රියාන්විත අවස්ථාවක සාමූහිකත්වයෙන් යුතුව ක්‍රියාන්විත මෙහෙයුම් වලට උරදීම වර්ධනය කිරීමත් මෙහි අරමුණ බැව් මේජර් ජෙනරාල් කරුණාසේකර වැඩිදුරටත් පැවසුවේය.

හමුදා අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මාධ්‍ය සාකච්ඡාව අමතමින් මෙම ඒකාබද්ධ ක්‍රියාන්විත අභ්‍යාස‍ය හමුදා ක්‍රියාන්විත අවස්ථා පිළිබඳ අත්දැකීම් නොලත් කණිෂ්ඨ නිලධාරින්ගේ තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කොටගෙන පවත්වන බව පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ බලපෑම්, ගුවන් සහ නාවික ක්‍රියාන්විත, සයිබර් අවකාශය හරහා පැමිණෙන ප්‍රහාර තර්ජන සහ සියළු සංග්‍රාමික අවශ්‍යතාවයන් පිළිබඳව අවබෝධයක් නිලධාරින්ට ලබාදීමත් මෙම කෂේත්‍ර යුද අභ්‍යාසය අපේක්ෂා කරයි. ප්‍රධාන පුහුණු අංශ 14 ක් යටතේ කොමාන්ඩෝ බලකාය, විශේෂ බලකාය සහ පාබල යාන්ත්‍රික භඨඛණ්ඩ, ගුවන් සහ නාවික භඨඛණ්ඩ සුසංයෝගයෙන් මෙම ක්ෂේත්‍ර යුද අභ්‍යාස සංවිධානය කර ඇත. එසේම මෙම අභ්‍යාසය සදහා සහභාගි වන දේශීය විදේශීය සාමාජිකයින්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමත් මෙම අභ්‍යාසය තුළින් ඉටුවන බැව් පුහුණු අභ්‍යාස අධ්‍යක්ෂක විසින් වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කරුණු දක්වමින් දියකාවා යුද අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් දියකාවා යුද ක්‍රියාන්විත අභ්‍යාසයේ සැලසුම හා ක්‍රියාන්විත අභ්‍යාසය දියත් කෙරෙන ස්ථානයන් හා කාලසීමාවන් පිළිබඳව පැහැදිලි කල අතර, 2017 සැප්තැම්බර් මස 24 දින ත්‍රිකුණාමලයේදී යුද ක්‍රියාන්විත අභ්‍යාසයට සහභාගී වුවන්ට සහතික පත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අභ්‍යාසය සමාප්ත වන බැව් දන්වා සිටියේය. මෙම උපකල්පිතතාවයන් මත ක්‍රියාත්මක වන මෙම ක්‍රියාන්විත යුද අභ්‍යාසයට සහභාගීවන හමුදා සාමාජිකයන්‍ට සතුරු මර්මස්ථානයන් බිද හෙලීමේ දී ගුවන් සහ නාවික ආධාර ලබාගැනීම පිළිබඳවත් ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් ලැබෙන බැව් ඔහු තවදුරටත් අනාවරණය කලේය.

නාවික හමුදා ගොඩබිම් ක්‍රියාන්විත අධ්‍යක්ෂක, කොමදෝරු යූ.අයි සේරසිංහ අදහස් දක්වමින් නාවික හමුදා විශේෂ ප්‍රහාරක භඨ ඛණ්ඩත්, ඩෝරා වර්ගයේ ප්‍රහාරක මුර සංචාර යාත්‍රාවන්, නාවික ගොඩබැස්වීමේ ලෑන්ඩින් ක්‍රාෆ්ට් යාත්‍රාවත් (LCM) සහ වේග ප්‍රහාරක යාත්‍රාවන් මෙම යුද අභ්‍යාසයට එක්වන බැව් පැවසීය. එසේම නාවික හමුදාවට නවතමයෙන් එක්කරන ලද නාවික මැරීන් බළඇණිය ද ප්‍රථම වතාවට මෙම යුද අභ්‍යාසයට එක්වන බවත් ඔහු පැවසීය.

එකාබද්ධ හමුදා ගුවන් අංගයේ අණදෙන නිලධාරි නියෝජනය කරමින් පැමිණ සිටි වින්ග් කමාන්ඩර් මනතුංග මෙම යුද අභ්‍යාසය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංග්‍රාමික ගුවන් හැකියාවන් ප්‍රදර්ශණය කරමින් නව යුද උපක්‍රම අත්හදා බැලීම මෙන්ම මෙම අභ්‍යාසයට අමතර ගුවන් සහය ලබාදීමට කටයුතු කර ඇති බවත් බැව් සඳහන් කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් අනුව සීඝ්‍රයෙන් වැඩිවන සයිබර් අවකාශයෙන් එල්ලවන තර්ජන සැලකිල්ලට ගනිමින් එවැනි තර්ජන පිටුදැකීමේ පුහුණු අංගයක් ද මෙවර යුද අභ්‍යාසයට නවතමයෙන් හඳුන්වා දී ඇත.

අදාල ප්‍රවෘත්ති සාකචිඡාව පිලිබදව සවිස්තර විස්තරයක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුධ අභ්‍යාසය අදියර VIII – 2017’ ( ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය ) ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 2675 සමගින් හා විදේශීය හමුදා සාමාජිකයින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පරිදි සිදුකිරිමට සැලසුම් සකස්කර ඇති අතර, මෙම දැවැන්ත අභ්‍යාසය මෙහෙයවීම මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ සිට සැප්තැම්බර් 03 සිට 24 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

මෙම අභ්‍යාසය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් බහුතරයක් ඇතුලත්ව යාන්ත්‍රික, පාබල හමුදා සෙබළුන් 2108 ක් නාවික හමුදා සෙබළුන් 370 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 197 ක් සමගින් බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ඉන්දුනිසීයාව, මලයාසියාව, චීනය, රුසියාව, ඇමරිකාව, බ්‍රසීලය, සූඩානය, ඉරාකය, ඊශ්‍රාලය, ඕමානය, තුර්කිය, ඉරානය හා කෙන්යාව යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සම්බන්ධ වීමට නියමිතව ඇත. අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත්, බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කර්නල් චන්ද්‍රා ජයවීර, කර්නල් සුජීව හෙට්ටිආරච්චි සහ කර්නල් චන්දන වික්‍රමසිංහ ද කටයුතු කරති.

අටවන වරටත් පැවැත්වෙන මෙම දියකාවා යුධ අභ්‍යාසය මෙම වසරෙහි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ නව සංකල්පයකට අනුව අභ්‍යාස අධ්‍යක්ෂකගේ හා සැලසුම් කමිටුවක පුර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි. මෙම විශේෂ ක්‍රියාන්විත හමුදා අභ්‍යාසයෙහි අවසන් අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින යුධ, නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධව පැවැත්විමට නියමිත අතර, ඉන් අනතුරුව සැප්තැම්බර් 24 වන දින අභ්‍යාසයේ සමාප්තිය සිදුකෙරේ.

ශ්‍රී ලංකා හමුදාව 2009 වසරේ අවසන් කල ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු අභ්‍යාසය සිදුකරනු ලබන අතර, එය ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි, ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සහ මුලතිව් යන ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රදේශ ආවරණය වන පරිදි මඩකලපුව, වාකරේ, ත්‍රිකුණාමල උතුර, තොප්පිගල ප්‍රදේශ ආවරණය කරමින් සිදුකෙරේ. එයට සමගාමීව මෙම අභ්‍යාසය නාවික සහ ගුවන් ක්‍රියාන්විත වලින් ද සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ හැකියාවක් සහ සෑම මට්ටමක සටන් සුදානම හා සංවිධානාත්මක ක්‍රමවේද පවත්වා ගැනිමේ අරමුණින් යුතුව නාවික හමුදා සහාය ඇතිව යාන්ත්‍රික පාබල හමුදා ක්‍රියාන්විත ද මෙම අභ්‍යාසයේ සිදුකරනු ලබයි.

මෙම අඅභ්‍යාසයේ අවසන් අදියරයේදී යුධ හමුදා භඨ පිරිස් සමග ඒකාබද්ධව නාවික සහ ගුවන් හමුදා විසින් සතුරු බලකොටු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරිම විදහා දැක්වෙන අභ්‍යාසයක් ද සිදු කිරිමට බලාපොරොත්තු වේ. යුධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි. විශේෂ හමුදා යුද උපක්‍රම සැලසුම් ක්‍රියාත්මක කිරිම් සහ අණදීම භාවිතා කරමින් ඕනෑම හදිසි අවස්ථාවකදි භඨ පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරිමේ පුහුණුව ඇති කිරිමේ අරමුණින් යුතුව මෙම අභ්‍යාසය සැලසුම් කර ඇත. එමෙන්ම මෙම අභ්‍යාසය සදහා නවතමයෙන් එක් කරනු ලැබු අංගයක් ලෙස සයිබර් ප්‍රහාර හා ඒ සදහා ගතයුතු යුධ වාතාවරණයන් හදුන්වා දිය හැක.

එමෙන්ම මුලික වශයෙන් සැලසුම් සකස් කිරිම, පුර්ව සුදානම, තාක්ෂණික භාවිතය, සමායෝජනය අණදිම, පාලනය, යුද්ධෝපාය ක්‍රම, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම ආදිය පිළිබදව ද මෙහිදි පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් අනතුරුව ශ්‍රි ලංකාව තුල නැවත එම තත්වයන් උද්ගතවීමට නොදි ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ජාතියේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකිරිමට ශ්‍රි ලංකා යුද හමුදාවට මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඉවහල් වන බව යුද හමුදාපතිතුමාගේ අදහසයි. ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණ දෙන නිලධාරි කොමදෝරු යු. අයි සේරසිංහ සහ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් ගෲප් කපිතන් වී.බි. එදිරිසිංහ මෙම අභ්‍යාසයේදි නාවික හමුදා සහ ගුවන් හමුදා භඨ පිරිස් සදහා අණ දීම සිදුකරනු ලබයි.

උපකල්පිත තත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්ෂාත් කරගැනිම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ දියකාවා යුධ අභ්‍යාසයෙහි ක්ෂණික ප්‍රහාර, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනිම, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරික්ෂණය, නාවික සහ ගුවන් ඒකාබද්ධ අභ්‍යාස යාන්ත්‍රික පාබල භඨ පිරිස් වල සහ අනෙකුත් ඒකක වල සහභාගිත්වයෙන් යුතුව විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා ප්‍රගුණ කිරිමට නියමිතය.

මෙම අභ්‍යාසය විදේශ රටවල්වල හමුදාවන් හි විශේෂ ආකර්ශණයට ලක්ව ඇති අතර, එය ඔවුන්ගේ වාර්ෂික දින සැලසුම් සටහනේ එක් අංගයක් බවට පත්ව ඇත. මෙහි අවසන් අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වෙන අතර, පසුදින සැප්.(24) මෙම යුධ අභ්‍යාසය සමාප්තිය සටහන් වනු ඇත.(නිමාව)

Sports Shoes | Nike