Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2016 09:33:10 Hours

තවත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු සඳහා මංගල සීනූ

රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. රණවිරුවන් විසින් ජාතියට කරන ලද සේවය අගයමින් මෙම උත්සවය ගම්පහ ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් පස්වන වරටත් සංවිධානය කරන ලදී.

මෙහිදී පැවති සමූහ විවාහ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මනමාල පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබූ අතර, එහිදී 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එන්.එච්.ජේ වන්නිනායක, 10 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.ඒ.යූ.ඩී රණසිංහ සහ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ජී.ජේ පුෂ්පකුමාර යන රණවිරුවන් යුගදිවියට පා තබනු ලැබූහ.

ගම්පහ ‘සාකේත මැදුර’ හෝටලයේ බ්‍රහස්පතින්දා (20) දින පැවති මෙම විවාහ උත්සව සඳහා සුභ පතන්නන් ඉතා විශාල පිරිසක් සහ පවුල් හයට අයත් ඥාති හිත මිත්‍රදීන් රැසක් සහභාගි වූහ.

උතුරු මැද පළාතෙන් බිහි වූ 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එන්.එච්.ජේ වන්නිනායක යුද හමුදාවට බැදී ආන්දම්කුලම ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ සටනින් තුවාල ලබා රණක්ෂිතයට පත් වූ අතර, ඔහුගේ අත ගත් දකුණු පළාතෙහි බුද්ධිකා කසුන්දනී ඔහු නේවාසිකව සිටින රණවිරු සෙවණට පැමිණි අවස්ථාවේ දී ඇති වූ හදුනාගැනීමකින් අනතුරුව මෙම විවාහය සිදු වූ අතර, ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඔවුන් හට නොමද ආශිර්වාදය ලබා දී ඇත.

10 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.ඒ.යූ.ඩී රණසිංහ විශ්වමඩු ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ සටනේ දී තුවාල ලබා රාගම රණවිරු සෙවනෙහි වසර කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර, විවාහ යෝජනාවකට අනුව ඉනූෂා ගීතාන්ජලී ඉදුනිල් මෙනවිය දෙමව්පිය ආශිර්වාද මධ්‍යයේ ඔහුගේ අතිනත ගෙන ඇත.

5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ජී.ජේ පුෂ්පකුමාර පුදුමාතලන් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුම් අවසන් සටනේ දී තුවාල ලබා පාදයක කොටසක් අහිමිව රාගම රණවිරු සෙවණෙහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර, හදුනාගැනීමකින් අනතුරුව දේවගේ සමන්ති නිමේෂා මෙනවිය සමඟ අතිනත ගනු ලැබීය.

මෙහිදී චාරිත්‍රානුකූලව මනාලයන් සහ මනාලියන් විසින් සුභ මොහොතින් පෝරුවේ චාරිත්‍ර, විවාහ ලියාපදිංචිය, මංගල කේක් කැපීම සහ දෙමාපිය සමඟ ත්‍යාග හුවමාරුව සිදු කරන ලදී. ගම්පහ ව්‍යාපාරිකයින්ගේ සංසදයේ ‘සියනෑවේ අපි’ සංවිධානය මගින් රණවිරුවන් රට ජාතිය වෙනුවෙන් කරන ලද අනූපමය මෙහෙය අගයමින් මීට පෙර ද මෙවැනිම රණවිරුවන් සඳහා විවාහ උත්සව සංවිධානය කර ඇත.

පුනරුත්තථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ණ සම්බන්ධිකරණයෙන් යුතුව ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් මෙම විවාහ මංගල උත්සවයේ සංවිධාන කටයුතු, විවාහ චාරිත්‍ර, ප්‍රවාහන පහසුකම්, ආහාර පාන, සංගීත සැපයුම සහ මංගල කේක් සැපයුම වැනි සියලුම අවශ්‍යතාවන් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපතිතුමා විසින් නව යුග දිවියට පා තබනු ලැබූ මනාමාල යුවලවල් සඳහා සුභ පැතුම් එක් කරමින් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

අනතුරුව යුද හමුදාපතිතුමා විසින් නව විවාහක යුවලවල් වෙත මුදල් පරිත්‍යාග සහ ද්‍රව්‍යමය ත්‍යාග ද පිරිනමනු ලැබීය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බෙලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවල කර්නල් සේනාවිධායකවරුන්, පුනරුත්ථාපන අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.

Mysneakers | FASHION NEWS