Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2017 16:40:25 Hours

ටයර් වල නැවත කට්ට ඇලවීමේ නව අංශය ආරම්භයෙන් යුද හමුදාවට මිලියන ගණනක ඉතිරියක්

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කම්හලේ නවතමයෙන් ආරම්භ කරන ලද ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය අද (20) උදෑසන එතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි.

මෙම ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 14 ක් වැය කළ අතර, එමඟින් වර්ෂයක දී යුද හමුදා රථ සඳහා යොදා ගන්නා ටයර් 8804 ක් නැවත කට්ට ඇලවීම සිදු කිරීමට නියමිතය. එමඟින් රුපියල් මිලියන 20.5 ක් යුද හමුදාවට ඉතිරි කර ගත හැකි අතර, දෛනිකව මෙම අංශය මඟින් ටයර් 36 ක් නැවත කට්ට ඇලවීම සිදු කරනු ලබයි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගැනීම ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රේණක වී. උඩවත්ත විසින් සිදු කළ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදි යුද හමුදාපතිතුමා වෙත සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව වෙස් නර්තණ ශීල්පින්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් කර්මාන්ත ශාලාව වෙත එතුමා කැඳවාගෙන යන ලදි.

ලෝක මට්ටමෙහි නව සොයා ගැනීම් සහ අභියෝගාත්මක මානයන් හා සමඟාමිව යුද හමුදාවේ නවීකරණය හා යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමේ හැරවුම් ලක්ෂයක් ලෙස යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල මෙම ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය ආරම්භ කිරීම හැඳින්විය හැක. කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එල්. ගුරුගේ අණදීම යටතේ නිලධාරීන් 06 ක් සහ සෙසු නිලයින් 300 ක් මෙහි රාජකාරි කරනු ලැබේ.

මෙම අංශය විවෘත කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිතුමා විසින් කර්මාන්ත ශාලාව තුල සිදු කරනු ලබන සපත්තු නිෂ්පාදනය, කාන්තා අත් බෑග්, එම්බොයිඩර් නිෂ්පාදන, හිස්වැසුම්, ධජ සහ පරික්ෂණ මට්ටමේ පවතින තවත් නිෂ්පාදන පිළිබඳව නිරික්ෂණය කරන ලදි.

යුද හමුදාවට නිරන්තරයෙන් අවශ්‍ය වන මෙම කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදිත තාක්ෂණික වශයෙන් අලුත්වැඩියා කරන ලද උපකරණ පිළිබඳව ද යුද හමුදාපතිතුමා විසින් විමසා සිටි අතර, එක් එක් අංශයන්හි ප්‍රධානීන් දිරිමත් කිරීම ද එතුමා විසින් සිදු කළහ.

අනතුරුව, සංකේතාත්මකව ඵලකය නිරාවරනය කරමින් පීත්ත පටිය කපා මෙම නව අංශය විවෘත කරන ලදි. මෙම අවස්ථාව සිහිගන්වමින් යුද හමුදාපති විසින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීම සහ සමුහ ඡායාරූපයකට පෙනිසිටිම සිදු කළ අතර, භට පිරිස් ඇමතීම ද එහිදි සිදු කළහ.

යුද හමුදාවට අවශ්‍ය බැරැක්ක උපකරණ, යන්ත්‍රසුත්‍ර සහ අනෙකුත් සියලුම උපාංග නිෂ්පාදනය දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ දී සහ කොස්ගම පිහිටි යුද හමුදා කාර්මික වැඩපොල හි දී සිදු කරනු ලැබේ.

යුද හමුදාපතිතුමා විසින්, යුද හමුදා සාමාජිකයන්ගේ හැකියාවන්, නිර්මාණශීලි නවෝත්පාදක, නවීන තාක්ෂණික දැනුම වර්ධනය, උසස් මට්ටමේ නිෂ්පාදන ප්‍රවේශයන් ඇතිකිරීම මෙන්ම සෙබලුන්ගේ අමතර හැකියාවන් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ අනාගත සුබසිද්ධිය සඳහා මෙමඟින් අවස්ථාව උදාකරදීම ආදිය මෙම ව්‍යාපෘති මඟින් අපේක්ෂා කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මුලික ප්‍රාග් ධනය ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව වෙතින් යුධෝපකරන සේවා අධ්‍යක්ෂ මණ්ඩලය හරහා රුපියල් මිලියන 14 ක් ලබා දී ඇති අතර, තවත් මිලියන 1.4 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් ලබා දී ඇත.

Mysneakers | Nike, adidas, Converse & More