Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2017 09:09:27 Hours

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිතුමන් සහතික වේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් අද (09) දින පස්වරුවේ දී කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අමතනු ලැබීය.

යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයට සම්ප්‍රාප්ත වූ අතිගරු ජනාධිපතිතුමන්ව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබ ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රධාන දේශන ශාලාව වෙත කැටුව යන ලදි‍‍.

ඉන් අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ප්‍රධාන ආරාධිත අතිගරු ජනාධිපතිතුමන්ට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර දක්වා දේශනයට පැමිණ සිටි පිරිස පිළිබඳ වාර්තා කළේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කෙටි දේශනයක් පවත්වමින් අතිගරු ජනාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගෙන එතුමන්ගේ දේශනය පැවැත්වීමට ආරාධනා කරන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් පිරිස අමතමින් මෙම හමුව සංවිධානය කිරිම පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන්ට සහ යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තුතිවන්ත වූ අතර, ඔවුන් රට වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මෙහෙය තවදුරටත් ඉටු කළ යුතු බැව් ද සිහිපත් කළහ. අතිගරු ජනාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින්,

“ඔබ සියලුදෙනා කැපවීමෙන් රට ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණිම පිළිබඳවත් ජාතික ආපදාවන් ඇති වූ සෑම අවස්ථාවකදීම තම ජිවිත පරදුවට තබා ක්‍රියාකිරීම පිළිබඳවත් අප සියලුදෙනා ඔබ වෙත ණය ගැතියි. ජාතිය වෙනුවෙන් නැඟි සිටින ඔබ සියලුදෙනා ජාතික ආපදාවන්, වසංගත උවදුරු, නායයෑම් ආදි අවස්ථාවල දී සෑමවිටම පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා‍. සාමකාමි සමාජයක් ලෙසින්, සාමය, සංහිඳියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ සහාය තවදුරටත් අවශ්‍යයි.”

“රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙමි. යම් කිසිවෙකු වැරුද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇත. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඩුවම් පමුණවීමට තැත් කරනා බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව ප්‍රකාශ කරමි. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුලින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදි පවසමි” යනුවෙන් ප්‍රකාශ කළේය.

ලෝකයේ කිසිදු මානුෂික අයිතිවාසිකම් සංවිධානයකට කිසිම පදනමක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බලපෑම් සිදු කිරිමට ඉඩ නොදෙන බවත් අවධාරණය කළ අතිගරු ජනාධිපතිතුමන් ස්වෛරි රාජ්‍යයක් වශයෙන් කිසිදු අතපෙවිමකින් තොරව අපගේ ගැටළු විසදාගැනීමට අපට ඇති හැකියාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කොට ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

“ඇතැම් ප්‍රකාශ කටකතා සහ අපව අවතක්සේරු කරන්නන්ට නොරැවටි මාව විශ්වාස කරන මෙන් මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී ඔබ සියලුදෙනා විසින් ඉටු කරන ලද විශිෂ්ඨ මෙහෙය මා අගයන අතර, ජාතියක් වශයෙන් සාමය හා සංහිඳියාව තිරිකිරීම උදෙසා ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. එසේම ඉතිහාසයේ දී මෙන් නොව කිසිදු රණවිරුවෙකුගේ විදේශ සංචාරයන්ට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් මා තරයේ අවධාරණය කර සිටිනවා.”

සියලුදෙනා විසින්ම ඉතා දුෂ්කරතා මධ්‍යයේ ලබාගත් සාමය, රටේ සෞභාග්‍යය ඇති කිරිමෙහිලා තවදුරටත් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතිගරු ජනාධිපතිතුමන් දැනට පවතින යහපත් තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීමට රජය විසින් සෑම උත්සහායක්ම ගන්නා බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතයේ දී ලෝව විශිෂ්ඨ හමුදාවන්ගෙන් එකක් බවට පත් කිරීමට කටයුතු ඉටු කරන බවත් ප්‍රකාශ කළහ.

අතිගරු ජනාධිපතිතුමන් භට පිරිස් අමතමින් සිදු කළ දේශනය අවසානයේ දී ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වූ අතර, දේශනයට සහභාගි වූ හමුදා සාමාජිකයින් සමඟින් සුහඳව අදහස් ද හුවමාරු කර ගත්හ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ දේශනය සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකයින් 30,000 කට අධික පිරිසකට නැරඹිමට අවස්ථාව සලසමින් එම දේශනය සජීවිව විකාශනය කරන ලදි.

Best Nike Sneakers | Nike Shoes, Sneakers & Accessories