Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2017 18:08:12 Hours

කාන්තා සෙබලියක් පොල් ආශ්‍රිත ආහාර වට්ටෝරු 54 ක් අඩංගු සූපවේදී ග්‍රන්ථයක් එළි දක්වයි

එල්ලේ, කබඩි, රග්බි, ශාරීරික පුහුණුව, සුපවේදය, නව නිෂ්පාදනය ආදි විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වා ඇති 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි නිෂාන්ති,‘කප්රුකෙන් නවතම කෑම වට්ටෝරු’නමින් පොල් නිෂ්පාදන ආශ්‍රිතව පිළියෙල කරගත හැකි නව කෑම වට්ටෝරු 54 ක් අඩංගු සූපවේදී කෘතියක් එළිදක්වමින් පසුගිය දා ඇයගේ තවත් දක්ෂතාවයක් එළිදැක්විය.

වර්ෂ 2008 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බැඳුණු ලාන්ස් කෝප්‍රල් නිෂාන්ති,අන්තර් ඒකක හා අන්තර් රෙජිමේන්තු එල්ලේ, කබඩි සහ රගර් ක්‍රීඩාවන්හි මනා දස්කම් දක්වා ඇති ක්‍රීඩිකාවකි. එසේම,ශාරිරීක පුහුණු උපදේශක පාඨමාලාව සාර්ථකව හැදැරූ ඇය වර්ෂ 2010 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරිරීක පුහුණු උපදේශිකාවක් වශයෙන් ද පත්විම් ලබා ඇත.එතැන් පටන් යුද්ධ හමුදා කාන්තා සෙබලියන්ගේ ශාරිරීක ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් ඇය,අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාග සාමාර්ථයට සමාන්තරව සැලකෙන ජාතික වෘත්තීය සුදුසුකම් - IV මට්ටම (NVQ Level - IV) සමාර්ථය ලබමින් සුපවේදී ක්ෂේත්‍රයට ද අවතීර්ණ වී තිබේ.

සූපවේදී ශාස්ත්‍රයේ දස්කම් දක්වමින් ‘දෙරණ සූප ස්ටාර්’ තරඟයේ අවසන් තරඟකරුවන් පස්දෙනා අතරට ද පැමිණීමට ද ඇයට හැකිවිය. එසේම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් වර්ෂ 2013 දී පවත්වන ලද ප්‍රදර්ශනයේ දී ත්,යුද්ධ හමුදාව විසින් 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි පවත්වන ලද සූපවේදය පිළිබඳ ප්‍රදර්ශනයන් සහ අනෙකුත් එවැනි ප්‍රදර්ශන අවස්ථාවන්වල දී ත්,ඇය විසින් සූපවේදය පිළිබඳ තම කුසලතාවයන් මනාව ප්‍රදර්ශනය කර ඇත.

ශ්‍රී ලංකා නව නිමැවුම්කරුවන්ගේ කොමිසම විසින් සති කිහිපයකට පෙර පැවැත් වූ ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිමැවුම් තරඟාවලියේ ද ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇයට හැකිවිය.විදුලි යන්ත්‍රයක් භාවිතයෙන් පුවක් ගසේ කොළපත ආධාරයෙන් සෞඛ්‍යාරාක්ෂිත පිඟන් සහ බඳුන් නිර්මාණය කිරිම වෙනුවෙන් එම ජයග්‍රහණය හිමි වූ අතර,විදේශ තරඟ කිහිපයකට ද සහභාගිවීම සඳහා ඇයව තෝරා ගන්නා ලදි.

ඇය විසින් රචනා කරන ලද එම ග්‍රන්ථයේ පොල් උපයෝගි කර ගනිමින් පිළියෙල කර ගත හැකි නව ආහාර වට්ටෝරු 54 ක් පිළිබඳවත් එම ආහාරවල පෝෂණ ගුණය පිළිබඳවත් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් මෙම සෙබලියගේ විවිධ දක්ෂතාපිළිබඳව දැනගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇයගෙන් යුද්ධ හමුදාවට ලබාගත හැකි සේවාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට උපදෙස් ලබා දී ඇත.

affiliate link trace | adidas Yeezy Boost 700 , Ietp