Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2019 19:16:06 Hours

එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක තුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී ශෝකය ප්‍රකාශ කරයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිත, එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වන හනා සිංගර් මහත්මිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාවේ දී මීට දින කිහිපයකට පෙර මාලි රාජ්‍යයේ දී ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලාංකීක සාම සාධක හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එතුමියගේ සානුකම්පිත ශෝකය ප්‍රකාශ කර සිටියහ.

මෙම සාකච්ඡාවේදී හනා සිංගර් මහත්මිය විසින් දිවිපිදු රණවිරුවන් දෙදෙනාට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට යුද්ධ හමුදාධිපතිතුමන්ට සහතික වූ අතර වියෝව හේතුවෙන් ශෝකාකූල වූ පවුල් දෙක පිළිබඳ සොයාබලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරදෙන බවට ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත තුමිය විසින් මාලි රාජ්‍යයේ සිදුවූ මෙම ව්‍යසනකාරී ප්‍රහාරය හෙළා දකිමින්, ශ්‍රී ලංකා සාම සාධක හමුදා සාමාජිකයින් මෙලෙස අහිමිවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩි ලෙස කණගාටුවට පත්වූ බවත් යුද්ධ හමුදාධිපතිතුමන් හට පැවසීය. එමෙන්ම, මාලි රාජ්‍යයේ දී දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් කොළඹ ගුවන් තොටුපොලේදී භාර ගැනීමේ අවස්ථාවට තමන් සම්බන්ධවන බවත් අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත් කිරීමට විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරන බවත් එතුමිය පැවසීය.

මීට අමතරව, දිවිපිදු රණවිරුවන්ගේ අවසන් කටයුතු සඳහා මෙන්ම රණවිරුන්ගේ වියෝව හේතුවෙන් ශෝකයට පත් පවුල් දෙකේ සාමාජිකයින් හමුවීම සඳහා බ්‍රහස්පතින්දා (31) දින හනා සිංගර් මහත්මිය සහ කොළඹ පිහිටි සිය කාර්යාලයේ නිලධාරීන් සහභාගිවන බවත් පැවසිය.

මාලි රාජ්‍යයේ දී දිවිපිදු ශ්‍රී ලංකා සාමාසාධක හමුදා සාමාජිකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වනු ලබන සැලකිලිමත්භාවය පිළිබඳ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ස්තූතිය එතුමිය වෙත පුද කල අතර යුද්ධ හමුදාවේ අදාළ රෙජිමේන්තු මූලස්ථානයන් වෙතින් දිවිපිදු රණවිරුවන්ගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු සිදුකරනු ලබන ආකාරය පිළිබඳව ද එතුමිය වෙත පැහැදිලි කරන ලදී.

මෙම සුහද හමුව සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක තුමියගේ ලේඛම් සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න සහභාගි වූහ.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නිරත වී සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් ඉකුත් සිකුරාදා (25) දින පෙරවරු 6.30 ට පමණ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල කපිතාන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ පොල්පිතිගම, තලකොලවැව ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල කෝප්‍රල් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්වූහ. තවද, මෙම ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ තවත් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු මාලි රාජ්‍යයේ ගාඕ නගරයේ රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. latest Nike Sneakers | Nike