Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2018 15:11:26 Hours

81 වන ජාතික සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ක්‍රීඩකයින් දිනාගනී

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 81 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික ජාතික සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරඟාවලිය 2018 මාර්තු මස 3 සහ 4 දිනයන්හි වයස අවුරුදු 12 ත් 70 ත් අතර වියේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 කගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේ දී පවත්වනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් 123 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගි විය.

ගල්කිස්ස අභියෝගතා කුසලානය තුන්වන වරටත් හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම සමත්විය. එමෙන්ම, යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් විසින් අන්තර් සේවා කණ්ඩායම් ශුරතාවය 10 වන වරටත් හිමි කරගැනීමට සමත්විය.

මෙහිදි ආබාධිත පිහිනුම්කරුට හිමි සම්මානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ ටී.ජි. අජිත් කුමාර විසින් දිනාගන්නා ලදී.

කර්නල් ක්ලිෆර්ඩ් ද සෝයිසා සහ ලුතිනන් කර්නල් ටෙරිල් ද සිල්වා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් වයස අවුරුදු 40 ට වැඩි අංශයෙන් තරඟ කළහ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය යනු පිහිනුම්, කිමිදුම්, වෝටර් පොලෝ සහ විවෘත ජල පිහිනුම් යන ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවේ ඇති ජල ක්‍රීඩා පාලක මණ්ඩලයයි.

ආසියානු කලාපයේ පවත්නු ලබන පැරණිම විවෘත ජල ක්‍රීඩා තරඟාවලියක් වන ජාතික සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලිය සඳහා අඛණ්ඩව අනුග්‍රහය ගල්කිස්ස හෝටලය විසින් ලබාදෙනු ලබන අතර මෙහි සමාරම්භක තරඟය වර්ෂ 1938 මාර්තු මස ඉරිදා උදෑසනක වැල්ලවත්ත බොස්වෙල් පෙදෙසෙන් ආරම්භ වී ගල්කිස්ස හෝටලය අසලින් අවසන් වී ඇත. මෙය පසු කාලීනව දෙහිවල පාලම දක්වා වෙනස් විය.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා සහභාගි විය.

affiliate link trace | Nike