Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2018 22:54:35 Hours

70 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘එකම ජාතියක්’ තේමා කරගනිමින් සිය 70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී ඉරිදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් යුතු නිලධාරින් 160 ක් සහ සෙසුනිලයින් 3638 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් හමුදා පෙළපාලියක් ද සමඟින් උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ජාතික ශීෂ්‍ය භට බලකා සාමාජිකයන්ගේ සම්මාන පෙළපාලිය ද සමඟින් පැත්වුණු මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සියලු ශ්‍රී ලාංකීකයන් තුල ඇති ජාතිය ගොඩනැගිමේ අභිප්‍රායත් අතිත ශ්‍රී විභුතියත් අභිමානයත් මනාව පෙන්නුම් කෙරුණි.

කොළඹ පැවැති 70 වන ජාතික නිදහස් දින උත්සවයේ දී ජාතික ධජය සහ හමුදා ධජයන් පෙරටු කරගත් ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ ජාතික ශීෂ්‍ය භට බලකා සාමාජිකයන්ගේ සමන්විත ගෞරවාන්විත සම්මාන පෙළපාලියේ ආචාරය අතිගරු ජනාධිපතිතුමන්ට සහ ජාතිය වෙනුවෙන් පිරිනමනු ලැබීය.

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, කථානායකතුමා, අගවිනිසුරුතුමා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, අනෙකුත් මැති ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රාජ්‍යත්‍රාන්තික නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද ඇතුලු සියලු ආගමික නායකයින් ද සහභාගි වූහ.

මෙවර නිදහස් උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස එක්සත් රාජධානියේ වෙසේක්ස් ප්‍රාන්තයේ ආදිපාද එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව සොපී කුමරිය, චින මහජන සමුහ ආණ්ඩුවේ සහ ජපාන රජය නියෝජනය කරමින් විශේෂ නියේජිතයින් දෙදෙනෙකු ද සහභාගි වූහ.

ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ පෙරගමන් රථ පෙළ හා පොලිස් අශ්වාරෝහක කණ්ඩාය‍මේ අලංකාරවත් පෙරහැරකින් පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් පිලිගැනීමෙන් අනතුරුව උත්සව කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ, නාවික, ගුවන් හමුදාපතිවරු සහ පොලිස්පති අතිගරු ජනාධිපතිතුමන් පෙරටුව ප්‍රධාන ධජ එසවීමේ පිඨිකාව වෙත ගමන් ගත් අතර, මඟුල් බෙර හා ජයසක් හඬ මධ්‍යයේ එහිදි අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය ඔසවනු ලැබීය. දිවයිනේ විවිධ පළාත් වල පාසල් 10 කින් පැමිණි පාසල් සිසුන් 110 දෙනෙකු විසින් එම අවස්ථාවේ දී අභිමානවත්ව ජාතික ගීය ගායනා කරනු ලැබීය.

අනතුරුව, කොළඹ ප්‍රදේශයේ පාසල් 25 ක ශිෂ්‍යාවන් කණ්ඩායම විසින් ජයමංගල ගාථා ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකයත් ගායනා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කළහ. ඉන් අනතුරුව, රට ජාතිය වෙනුවෙන් දිවි පිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුනට ගෞරව දැක්වීමට සැවොම එක්වූහ.

මෙම අවස්ථාවේ චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුදා හරිමින් ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලකායේ මේජර් දුමින්ද රසික කුමාරගේ අණදීම යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 96 දෙනෙකුගෙන් සැදුම් ලත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවය ද සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය.

ඉන්පසු, අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතමින් අද රටෙහි සියලුමදෙනා භුක්තිවිඳින නිදහස ලබාගැනීම වෙනුවෙන් කැපකිරීම් සිදු කරන ලද සියලුදෙනා හට සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියහ.

අතිගරු ජනාධිපතිතුමාගේ කථාවෙන් අනතුරුව, ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් හා සෙසු නිලයින්, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පෙළපාලියේ අණදෙන්නා විසින් හමුදා සම්ප්‍රදායානුකූලව අතිගරු ජනාධිපතිතුමන් වෙත රපෝර්තු කරන ලදි.

මෙවර යුද්ධ හමුදා පෙළපාලිය සඳහා නිලධාරින් 124 ක් සහ සෙසුනිලයින් 3389 ක් සහභාගි වූ අතර, යාන්ත්‍රික රථ පෙළපාලියේ නිලධාරින් 36 ක් සහ සෙසුනිලයින් 249 ක් සමන්විත විය.

මෙම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් සිය ගණනක් ආචාර පෙළපාලියේ ගමන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කලහ.

ප්‍රසිද්ධ කලාකරුවන්ගෙන් සමන්විත සංස්කෘතික කණ්ඩායම්, පාසල් සිසුන් සහ පළාත් මට්ටමේ අනෙකුත් කලාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අංගයන්ගෙන් මෙම අවස්ථාව තවත් වර්ණවත් විය.

සියලු ආගමික නායකයින් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙවර නිදහස් දින සැමරුම් උළෙල නැරඹීම සඳහා එක්ව සිටියහ.

නිදහස් දින පෙළපාලියේ අණදෙන්නා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කටයුතු කල අතර, සම්මාන පෙළපාලියේ දෙවන අණදෙන්නා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය සහ පෙළපාලියේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ කටයුතු කළහ.

එදිනම මධ්‍යහන 12.00 ට ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ චෛත්‍යය පාර ප්‍ර‍දීපාගාරය අසල දී කාලතුවක්කු උණ්ඩ 25 ක් ගුවනට මුදා හරිමින් ජාතිය වෙනුවෙන් සිය උපහාරය පිදීය.

Best Sneakers | Nike