Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2017 19:40:37 Hours

22 වන යුද්ධ හමුදාධිපති හමුදා ආචාර හා ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹයි

22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණය වෙත පැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමා, යුද්ධ හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ‍සහ විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත විසින් සරඹ භූමියට පැමිණි හමුදාධිපතිතුමා උණූසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදාපතිතුමා විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි.

අනතුරුව නව යුද්ධ හමුදාධිපතිතුමා විසින් විශේෂ බලකායේ කපිතාන් ආර්.ඒ.ඩි.ඒ රණසිංහ අණදුන්, නිලධාරීන් 2 ක් සහ සෙසු නිලයින් 48 දෙනෙකුගෙන් සමන්විත සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කරනු ලැබීය.

ක්‍රීඩාංගණය අවට වර්ණවත් රෙජිමේන්තු ධජවලින් අලංකාරව තිබූ අතරම යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායමේන් නැගුණු දේශානූරාගී ගීතනු එම අවස්ථාව තව තවත් වර්ණවත් කරන්නට විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමා හමුදාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුලුවන අවස්ථාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිලිගැනීමෙන් අනතුරුව ආගමික සම්ප්‍රදායානුකූලව මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටිය පිළිගන්වමින් සෙත් පැතීම සඳහා ආරාධනා කරනු ලැබීය. කදුරුදූව ධර්මාශ්‍රමයේ පුජ්‍ය අකුරුටියේ විමලවංශ ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමා සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව හමුදාධිපති ධූරයේ රාජකාරී අරඹමින් එතුමා විසින් පළමු නිළ රාජකාරී ලේඛනයේ අත්සන් තැබූ අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ බිරිඳ චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහ පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර ද අනෙකුත් ආගමික පූජකයින් හට පූජා භාණ්ඩ ද පූජා කරනු ලැබීය.

එමෙන්ම මෙම අවස්ථාව සඳහා වැඩම කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමින් වහන්සේ, හුණුපිටිය ගංගාරාමයේ පූජ්‍ය පාලටුවේ ජිනරතන ස්වාමින් වහන්සේ මෙන්ම කතෝලික, හින්දු සහ ඉස්ලාම් පූජකතුමන්ලා විසින් නව යුද්ධ හමුදාධිපති වෙත ආශීර්වාද පැතූහ.

යුද්ධ හමුදාධිපතිතුමා පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මේජර් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.

ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඔහු මහේෂ් සේනානායක ලෙස වඩා ප්‍රසිද්ධ අතර වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේ දී අතිශුර කෙඩෙට් නිලධාරි හට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වන ලදි. අනතුරුව 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රි ලංකා යුද්ධ හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රි ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි හා බලඝණ නිලධාරි අණදෙන මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරු ද හොබවා ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ස්වේච්ඡාවෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය වෙත 1989 වර්ෂයේ දී ඇතුලත් විය. ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පැවති සියළුම යුද්ධ හමුදා මෙහෙයුම් සඳහා සිය සක්‍රිය දායකත්වය විවිධ අණදීම් ස්ථරයන් යටතේ ලබා දී ඇත. ඒ අනුව පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළඝණ නිලධාරි අණදෙන මෙන්ම 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර ද හොබවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා රෙජිමේන්තුවේ සේනාවිධායක, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති (වව්නියාව), විශේෂ බලකා බලසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති වැනි තනතුරු ද හොබවා ඇත.

යුධ සමයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයන්හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 52 සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු ද හොබවා ඇත. තවද, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක මෙන්ම මානුෂිය මෙහෙයුමෙහි තිරණාත්මක අවධිය වූ 2006 වර්ෂයෙන් පසු යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදි. එමෙන්ම 2015 වර්ෂයේ දී යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් තනතුර ද හොබවනු ලැබීය.

2016 වර්ෂයේ දී යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරට පත් වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මහඟු දායකත්වයක් දැක් වූ අතර, ඔහුගේ අසමසම සේවය යාපනය ප්‍රදේශයේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර, ඇගයීමට ද ලක්ව ඇත. ඉනික්බිතිව 2017 මාර්තු මස එතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ද පත්විය.

ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ක්‍රියාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක් පිරිනමා ඇති අතර, ඔහුගේ නොකැලැල් විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබා ඇත.

තවද, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ වන විට විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන් ද කටයුතු කරනු ලබයි.

විවාහක මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දියණියන් දෙදෙනෙකු සහ එක් පුතණුවෙකුගේ දයාබර පියෙකු වේ.

best Running shoes | Air Max