Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2019 19:35:06 Hours

සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ශ්‍රී ලංකා සාමසාධක සෙබළුන්ගේ විනය, පුහුණුව සහ විශ්වාසනීයත්වය පැසසුමට ලක් කරයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) අඟහරුවාදා (05) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන්ව, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම සාකච්ඡාව ආරම්භයේ දී ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre), මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් තම හෘද්‍යාංගම ශෝකය ප්‍රකාශ කර සිටියහ. තවද “මම ඔවුන්ගේ සේවය ප්‍රශංසා කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාව විනයගරුකව, මනාපුහුණුවක් හා දැඩි විශ්වාසයකින් යුතුව වගකීම් සාර්ථකව ඉටුකරන බව ඔවුන්ගේ සේවයට ඇති කැපවීම තුලින් මනාව පෙන්නුම් කරනු ලබයි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන් මෙම සාකච්ඡාව අතරතුර තවදුරටත් පැවසීය.

අනතුරුව, දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ ඛේදජනක මරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන් දක්වන ලද සැලකිලිමත්භාවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ස්තූතිය පුද කර සිටියහ. තවද, යුද්ධ හමුදාධිපතිතුමන් “යුද්ධ හමුදා ඉතිහාසයේ අමතක නොවන සාමසාධක නිලධාරීන් ලෙස යුද්ධ හමුදා ඉතිහාසයට එක්වනු නොවනු මානය” යනුවෙන් සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන් වෙත පැවසීය.

සාකච්ඡාවේ මීලඟ අදියරේදී, නුඳුරේ දී ශ්‍රී ලංකා සාමසාධක හමුදාවේ සමස්ත ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ (Armoured Personnel Carriers) නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන ලදී. යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මෙන්ම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග විසින් නවතමයෙන් නිෂ්පාදනය කරනු ලබන සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථවල (Armoured Personnel Carriers) විශේෂ ලක්‍ෂණ පිළිබඳව සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන් දැනුවත් කළහ.

නවතමයෙන් නිෂ්පාදනය කරන ලද මෙම සන්නද්ධ රථ වැඩිදියුණු කරන ලද අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයන්ට ප්‍රතිරෝධී විය හැකි බවද මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග මෙහිදි පැවසීය. තවද වාහනයේ ආරක්‍ෂාව සඳහා තවදුරටත් ශක්තිමත්භාවය වැඩිදියුණු කර ඇති බවත් විශේෂ ආසන පහසුකම්වලින් සමන්විත බවත් පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාව සඳහා කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.අයි. පතිරත්න සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මණ්ඩලික නිලධාරී - I ලුතිනන් කර්නල් එම්.ඩබ්ලිව්.එස්. මිල්ලෑගල එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව අවසානයේ, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) අතර සුහදත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Nike Sneakers Store | Jordan Shoes Sale UK