Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 19:13:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහි ලෙස නිමාකර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇත. එම වසර 09 ක කාලසීමාව තුල අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර මේ වන විටද එම පුහුණු වැඩසටහන් හා අභ්‍යාස වඩා උසස් මට්ටමකට ගෙනඑමින් පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම නව අභ්‍යාස සහ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් යුද්ධයේදි ලත් අත්දැකීම් මෙන්ම නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් යුද්ධයකට මුහුණදීම සඳහා අවැසි සියළුම ආකාරයේ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික පුහුණු අභ්‍යාස සියළුම නිළධාරීන් හා සෙසුනිළයින් හට අඛණ්ඩව ලබාදීමටද කටයුතු කර ඇත. එමෙන්ම අනෙකුත් කාලසීමාවන් වලින් ඔබ්බට යමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිළධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසකට විදේශ පුහුණුව ලබාදීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. එමගින් ඔවුන්හට ජාත්‍යන්තර යුධ ශිල්පය පිළිබඳවද මනා දැනුමක් ලබාදීමට හැකිවී ඇත.

තවද, යුද්ධ හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භඨපිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙය යුද විශ්ලේෂකයින් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයින් විසින් කඳවුරු වසාදැමීමක් බවට අර්ථකතනය කර ඇත. මේ වන විට ආරක්‍ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියළුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදි වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටී. කෙසේ වුවද යුද්ධය නිමවන විට හා ඉන් අනතුරුව පැවති කඳවුරු යුද්ධය නිමවී වසර ගණනක් ගතවන විට ඒ ඒ අවස්ථාවන්හි ඇති ආරක්‍ෂක තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ක්‍ෂේත්‍ර අණදෙන්නන්ගේද නිර්දේශ සැලකිල්ලට ගනිමින් වෙනස් කිරීමට කටයුතු කිරීම කිසිඳු අයුරකින් වරදක් නොවන අතර ඒ අනුව සිටි හමුදාධිපතිවරුන් විසින් සමහරක් කඳවුරු ස්ථාන වෙනස් කිරීමට අවැසි පියවර ගෙන ඇත. ඉදිරියේදී ද රටේ ඇතිවන ආරක්‍ෂක වාතාවරණයන්ට අනුකූලව අවැසි වුවහොත් එසේ තවදුරටත් ක්‍රියාකිරීමට සිදුවනු ඇත.

මෑතකදී ද ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත. එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන බව තවදුරටත් දන්වා සිටිමි.

රජය, ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය තමන්ගේ පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්‍ෂාව ඈඳාගනිමින් විවේචනය කිරීම සමස්ථ යුද්ධ හමුදාවම තරයේ හෙලාදකින අතර රටේ බුද්ධිමත් ජනතාවගෙන් මෙවැනි අවස්ථාවාදීන්ට කන්නොදී, තම රට ආරක්‍ෂා කරදුන් සහ රට නැවත යුද්ධයකට ගෙනයාමට ඉඩනොදී වෘත්තියමය හමුදාවක් වශයෙන් කටයුතු කරන ඔබගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි තවදුරටත් තම විශ්වාසය තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු.Sportswear Design | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival