Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2019 17:36:48 Hours

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් තවත් යුද්ධ හමුදා සාමාජිකයින් යොදවයි

කොළඹ සහ ඉන් පිටතදී ඉරිදා (21) දින සිදුවූ පිපිරීම්වලින් පාස්කු ඉරිදා දින දේවමෙහෙයන්ට සහභාගීවූ බැතිමතුන් ඇතුළු 200 කට අධික පිරිසක් මියගොස් 465 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන සහ බලසේනා මූලස්ථාන සමඟ සම්බන්ධතාවයෙන් පිපිරීම් සිදුවූ අවධානම් සහිත ප්‍රදේශ ඇතුළු දිවයින පුරා පූජනීය ස්ථාන, රාජ්‍ය ආයතන සහ අනෙකුත් වැදගත් ස්ථාන ආවරණය වන පරිදි හදිසි ආරක්‍ෂක තත්ත්වයක් ක්‍රියාත්මක කරමින් අතිරේක භට පිරිස් යෙදවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, කොච්චිකඩේ, මීගමුව, දෙමටගොඩ, දෙහිවල, මඩකළපුව යන ප්‍රදේශවල මෙන්ම කොළඹ ෂැන්ග්‍රිලා, කින්ග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල ආරක්‍ෂාව සඳහා ද යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇති අතර පීඩාවටපත් සිවිල් වැසියන් මුදාගැනීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස් පොලිසියට අවශ්‍ය සහයෝගය ලබාදී ඇත. අද (21) දින මධ්‍යහනේ ආරක්‍ෂක අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මෙම ප්‍රහාරයත් සමඟ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දහසකට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන තුරුම ආරක්‍ෂක හමුදා සාමාජිකයන් පොලීසිය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, මහජනතාව නිවාසවල රැඳී සිටින ලෙසත් යුද්ධ හමුදාව ඉල්ලා සිටියි. එමෙන්ම, සැක කටයුතු යමක් ඇත්නම් ආසන්නතම පොලිස් ස්ථානයට හෝ යුද්ධ හමුදා කඳවූරට මෙන්ම වෙනත් ආරක්‍ෂක අංශයන් වෙත දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තවද, ආරක්‍ෂක අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මෙම ප්‍රහාරය දියත් කිරීමේ අභිප්‍රායන් සොයාබැලීම සඳහා කඩිනමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මේ අතර, මඩකලපුව සෙවෝන් දේවස්ථානයේ පාස්කු දේවමෙහෙයට සහභාගීවූ බැතිමතුන් 31 දෙනෙකු ඝාතනය කරමින් සිදුවූ ඛේදජනක ප්‍රහාරය සැලවූ වහාම නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය ක්ෂණිකව එම ස්ථානයේ ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවනු ලැබීය. මේ වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් හදිසි පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ හඳුනාගත් දේහයන් මරණ පරීක්‍ෂණවලින් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමේ කටයුතු සිදුකරනු ලබයි. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මඩකලපුව දිස්ත්‍රික්කයේ රඳගුරු බිෂෝප් පියතුමන් හමුවූ අතර මේ වනවිට  අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පාසිකුඩා යන ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්‍ෂාව තර කර ඇත. එමෙන්ම, මඩකළපුවේදී ආරක්‍ෂක කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර තුමන්, දිස්ත්‍රික් ලේකම් තුමන්, නියෝජ්‍ය පොලිස්පති සහ ආරක්‍ෂක හමුදා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. තවද, 22 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ මෙහෙයවීමෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක වැඩපිළිවලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. jordan release date | Nike