Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2018 15:45:44 Hours

ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.

සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන සේවා කටයුතු වල නිරත විය.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම යටතේ භට පිරිස් විසින් මාර්ග පිරිසිදු කිරීම්, බිඳවැටුණු විදුලිය නැවත ලබාදීම්, කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීම්, තාවකාලික නිවාස ඉදිකරදිම්, කසළ ප්‍රවාහන කටයුතු සහ අනෙකුත් සහන සේවා කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.

හදිසි‍යේ ඇතිවූ තද සුළි සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

14 වන සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ 141 වන බලසේනාවේ භට පිරිස් දික්ලන්ද, කටුකෙන්ද, සිරිගන්වත්ත, අලුගොල්ල, අඟලේගෙදර, මැල්ලවගෙදර, හීරළුගෙදර, පෙතිගොඩ, පොල්හේන, තම්මිට, කුඩගම්මාන, හේගවත්ත, වරඳාල, පහලමඩිතියවෙල, උල්ලපොල, තලමඩිතියවෙල, හුණුමුල්ල, කළුමඩ සහ දෙල්වඟුර යන ප්‍රදේශයන්හි හානියට ලක්වූ නිවාස 661 කට වැඩි ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් කරන ලදි.

හදිසි ආපදා තත්ත්වයට ලක්වූ අලුගොල්ල, මල්ලවගෙදර, දික්ලන්ද, කටුකෙන්ද, හීරළුගෙදර සහ ගිරිඋල්ල යන ප්‍රදේශන්හි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා නිරික්ෂණ සංචාරයක නිරතවෙමින් සහන සේවා කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් දිරිමත් කළහ.

Nike air jordan Sneakers | Air Jordan Release Dates 2020