Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2019 13:33:14 Hours

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් ගුවන් තොටුපලේදී භාරගැනීමට යුද්ධ හමුදාධිපතිතුමන් සුදානමින්

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු නිල උසස් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් සෙනසුරාදා (02) දින පස්වරු 3.10 ට පමණ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර එම දේහයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී හමුදා සම්ප්‍රදායානුකූල පෙළපාලියකින් ගෞරවාන්විතව භාරගැනීමට කටයුතු සැලසුම් කර ඇත. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදු රණවිරුවන් දෙදෙනාගේ බිරින්දෑවරුන් සහ ඥාතීන් රැසක් සහභාගිවීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද මෙම මෘත දේහයන් තැන්පත් කරන ලද දෙණ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් තිදෙනෙකු විසින් හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා වෙත භාරදීමට නියමිතය.

මෙහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා ජාතික ධජයෙන් එම දේහයන් තැන්පත් කරන ලද දෙණ ආවරණය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ධජයන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) වෙත භාරදීම සිදු කෙරෙනු ඇත. ඉන් අනතුරුව, එම මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මීගමුව රෝහල වෙත රැගෙනයාමට කටයුතු සුදානම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු මෙම රණවිරුන් දෙපලගේ අවමංගල්‍ය කටයුතු යුද්ධ හමුදා සාම්ප්‍රදායානුකූලව ඔවුන් පදිංචිව සිටි පොළොන්නරුව සහ පොල්පිතිගම ප්‍රදේශයන්හිදී සිදු කිරීමට නියමිතව ඇති අතර නිශ්චිත ස්ථානයන්, දිනය සහ වේලාවන් පසුව නිවේදනය කිරීමට නියමිතය.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නිරත වී සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් ඉකුත් සිකුරාදා (25) දින පෙරවරු 6.30 ට පමණ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල කපිතාන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ පොල්පිතිගම, තලකොලවැව ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල කෝප්‍රල් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්වූහ. තවද, මෙම ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ තවත් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු මාලි රාජ්‍යයේ ගාඕ නගරයේ රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. Sport media | Nike for Men