Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2019 10:10:48 Hours

පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වේ

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් බිහිකළ ක්‍රීඩා සහ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්‍ෂතා දැක් වූ ජයග්‍රාහිකාවන් 400 දෙනෙකු ඉකුත් සදුදා (21) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත් වු වර්ණ රාත්‍රියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වත්මන් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සම්මාන ලබාගැනීමේ සුවිශේෂි වරප්‍රසාදය හිමිකරගත්හ.     

අඛණ්ඩව අට වන වරට පැවැත් වූ සිසුන් නොඉවසිල්ලෙන් බලාසිටි ඔවුන්ගේ ‘වර්ණ රාත්‍රිය’ වෙනුවෙන් හිටපු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, විදුහල්පතිදූරය හෙඹ වූ විහාරාධිපති හිමියන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් සහ එම පාසලේ ජයග්‍රාහී වර්ණලාභීන් ඇතුළු පාසලේ සිසුවියන්ගෙන් පිරි තිබිණි.

විදුහල්පති ජී. ඩබ්ලිව්. එල්. කේ එගොඩවෙල මහත්මිය විසින් මෙම අවස්ථාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පාසලේ බටහිර සහ පෙරදිග ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම් විසින් පවත්වනු ලැබු අලංකාර පෙරහැරකින් ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.  

එහිදි විදුහල්පතිතුමිය විසින් පිළිගැනීමේ කථාව සිදුකිරීමෙන් පසු 2019 වර්ෂයේ ජයග්‍රාහී වර්ණලාභීන් වෙත කුසලාන, සහතික පත් හා වර්ණ ප්‍රදානය කිරිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධන කරන ලදී. අනතුරුව එහි රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් නාදය මධ්‍යයේ එතුමන් වේදිකාව වෙත සම්ප්‍රාප්ත විය.

මෙහිදි සෞන්දර්යාත්මක අංගයන්ගෙන් විචිත්‍රවත් වූ අංග රැසක් පුෂ්පදාන විද්‍යාලීය බාලිකාවන් විසින් එම අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි, ජාතික ටයිකොන්ඩු ක්‍රීඩිකාවක් වන සඳගෝමි මුහන්දිරම් මෙනවිය වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවිය. තවද එම අවස්ථාවේදී නෙට්බෝල්, මේස පන්දු, පිහිනුම්, ටයිකොන්ඩු, හොකී, වොලිබෝල්, ජිම්නාස්ටික් වැනි විවිධ ක්‍රීඩා විෂයන් ඇතුළු බාහිර ක්‍රියාකාරම් වෙනුවෙන් කුසලතා සම්මාන, වර්ණ හා විශේෂ සම්මාන 400 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදානය කරනු ලැබීය.  

එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කෙටි දේශනයක් සිදු කරමින් තරුණ අවධියේදී ක්‍රීඩාවට ඇති කැපවීමේ වැදගත්කම සිහිපත් කළේ දිගු කාලීනව කායික හා මානසික වශයෙන් පුද්ගලයෙකුගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට එය ඉවහල් වන බැවිනි. තවද ජවසම්පන්නව අධ්‍යාපනය ලබා රටට වැඩදායක පුරවැසියන් වන ලෙස ද එතුමන් මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වය අගය කරමින් සියලුම ගුරුවරුන් සහ සිසුවියන් වෙනුවෙන් විදුහල්පතිතුමිය විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

වර්ණ රාත්‍රියේ ස්තූති කථාව, කථික හා ක්‍රීඩා ඉසව් පිළිබඳ දක්ෂතා දැකි වූ විද්‍යාලීය ක්‍රීඩා නායිකාව බිනරමලි බණ්ඩාර විසින් පවත්වනු ලැබීය.

මෙම වසරේ 77 වන සංවත්සරය අභිමානයෙන් සමරන මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය 1942 ජූලි මස 2 වන දින ශ්‍රී පුෂ්පදාන සමිතිය නමින් කන්ද උඩරට බෞද්ධ බාලිකාවියන් සඳහා අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ කරන ලදී.

පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම විද්‍යාලය පසු කාලීණව වර්ෂ 1961 දී ශ්‍රි ලංකා රජය විසින් පවරා ගන්නා ලද අතර වර්ෂ 1993 දී ජාතික පාසලක් ලෙස එය නැවත ප්‍රතිසංධානගත කරන ලදී. කන්ද උඩරට බාලිකාවන් සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකරන එම ප්‍රදේශයේ වඩාත් ජනප්‍රිය පාසලක් ලෙස ද මෙම බාලිකා පාසල ප්‍රසිද්ධියට පත්ව තිබේ. Best jordan Sneakers | UK Trainer News & Releases