Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2018 19:05:11 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද බිංගිරිය ජාතික වෙසක් කලාපය විවෘත කෙරේ

මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැති ජාතික වෙසක් දින සැමරුම - 2018, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (28) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදී.

මෙම ජාතික උත්සවයට සමගාමීව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නවීන තාක්‍ෂණය යොදාගනිමින් හා අඩු පිරිවැයක් දරමින් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ නව ධර්මශාලාවක් සහ අනෙකුත් සියළුම අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලැබීය.

බුද්ධශාසන අමාත්‍යංශය සහ අනෙකුත් සියළුම පාර්ශවකරුවන්ගේ සම්බන්ධතාවය ඇතිව ජාතික වෙසක් දින සැමරුම - 2018 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය පූර්ණ සහයෝගය ලබාදුන්හ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් නවීන තාක්ෂණය යොදාගනීමින් දිගින් අඩි 142 ක් හා පළලින් අඩි 68 ක් වන එකවර බැතිමතුන් 1000 ක් සඳහා ඉඩ පහසුකම් සැලසිය හැකි මෙම නව ධර්ම ශාලාව ඉදිකිරීමේ අභියෝගය භාරගත්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, පසුගියදා බිංගිරිය ප්‍රදේශයේ ජාතික වෙසක් උත්සවයට සමගාමීව යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ඉදිකරනු ලබන නව ව්‍යාපෘතින්හි ප්‍රගතිය සොයාබැලීම සඳහා නිලධාරින් සහ ඉංජිනේරු සේවා භට පිරිස් සමගින් නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදි ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධව විහාරාධිපති පූජ්‍ය මල්ලගානේ අත්තදස්සි නායක ස්වාමින් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර උන්වහන්සේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් පිළිබදව ද පූර්ණ විශ්වාසයක් තබමින් පෞද්ගලිකවම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු සම්බන්ධවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබදවත් සොයා බලා කටයුතු සිදුකර ඇත. බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සේනාංකයට අයත් 143 බලසේනාංක මුලස්ථානයේ භට පිරිස් විසින් ජාතික වෙසක් සැමරුම් උළෙලට ප්‍රථම මෙම ඉදිකිරීම් කටයුතු නිමකිරීමේ වගකීම භාරගෙන ඇත.

අතිගරු ජනාධිපතිතුමන්, සෙනසුරාදා (28) දින සුභ මොහොතින් ඵලකය නිරාවර්ණය කරමින් ජාතික වෙසක් උත්සවය විවෘත කරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි සහයෝගය ඇතිව 1 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් නව ධර්ම ශාලාව සහ අනෙකුත් ගොඩනැගිලි වල ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ ‍‍ඓතිහාසික මෙන්ම පෞරාණික විහාරයක් වන වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු පුර්ව 3 වන සියවස දක්වා දිවයයි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරා විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

තවද, 143 වන බලසේනාවේ භට පිරිස් බිංගිරිය වෙසක් කලාපයේ සියළු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදී.

මෙම ආගමික උත්සවය සඳහා ත්‍රෛයිනිකායක මහා සංඝයා වහන්සේලා, බුද්ධශාසන අමාත්‍යතුමන්, අනෙකුත් අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය ඒකකය)

Nike air jordan Sneakers | Ανδρικά Nike